සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබා ගැනීමට ඉවහල් වූයේ ඇසතු බෝධි වෘක්ෂය යි. සත්‍යාවබෝධයට පිහිට වූ බැවින් "බෝධි" නම් වේ. මිහිදු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ දෙසිය තිස්හත් (බු.ව. 237) වන වර්ෂයේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව ලක්දිව බුදුදහම ව්‍යාප්ත විය. මෙහිදී මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි, දෙවනපෑතිස් රජුගේ ඇරයුමෙන්, අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් සංඝමිත්තා මහරහතන් මෙහෙනිය විසින් ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදි. මහින්දාගමනයෙන් සිව් මසකට පමණ පසු දුමින්දාගමනය (බෝධි ආගමනය) සිදුවිය.


බෝධීන්වහන්සේ රැගත් පිරිස ශ්‍රී ලංකාවේ "දඹකොළ" නම් පටුනෙන් ගොඩබට බව සදහන් වේ. දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහ පෙරහැරින් අනුරාධපුරයට වැඩමවා මහාමෙවුනා උයනේ රෝපණය කරණ ලදි. බෝධීන් වහන්සේ රෝපණය කළ රජතුමන්, තම රාජ්‍යයෙන් බෝධීන්වහන්සේ පිදුවේ යැයි සැළකේ. එදා සිට අද දක්වා ම රාජරාජ මහාමාත්‍යාදීන් ද සෙසු බෞද්ධ ජනතාව ද බෝධීන් වහන්සේට හදවතින් ම පුද පූජා කරති. තව ද ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැඳින්වූව ද එය අතිශෝක්තියක් නොවනු ඇත.