රුවන්වැලි සෑය, රන්මැලි සෑය, ස්වර්ණමාලි, රතන චේතිය ආදී නම් වලින් හදුන්වන මෙම මහා චෛත්‍යය සිංහල බෞද්ධ සංස්කෘතියේ අද්විතීය සංකේතයක් ලෙස සැලකිය හැක. මිහිදු මහරහතන් වහන්සේ දෙවනපෑතිස්ස රජුට පූජනිය ස්ථාන පෙන්වන අවස්ථාවේ මෙම ස්ථානයද පෙන්වූ අතර දෙවනපෑතිස් රජු එහි ශිලා ස්ථම්භයක් පිහිටුවා ඇත. තම මුණුබුරෙකු විසින් මෙහි ස්වර්ණමාලී නමින් ස්ථූපයක් කර වන බව එහි සටහන් කළේය.


එයට සිය වසකට පමණ පසු රජ පැමිණියේ දුටුගැමුණු මහා රජතුමාය. එළාර රජු ඇතුළු ද්‍රවිඩයන් සමග සටන් කොට සිරිලක එක්සේසත් කර රට සශ්‍රීක කිරීමට පියවර ගත් මෙතුමා ආගමික උන්නතිය උදෙසා මහත් සේවයක් කළේය. තම මුත්තනුවන් කෙනෙකු වූ දෙවනපෑතිස් රජතුමන් විසින් කළ ශිලා ස්ථම්භය දුටු රජු, එහි ස්තූපයක් කිරීමට අදිටන් කරගත්තේ ය.


එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්වැලි නම් වූ මේ මහා දාගැබ ඉදිවිය. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. ඇසළ මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සීය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුමත නිරූපනය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. පසු කාලීනව මෙයට වඩා විශාල චෛත්‍යය නිර්මාණය කලත් රුවන්වැලි සෑයට තිබූ ගෞරවය අඩු නොවීය. මෙලෙස ආගමිකත්වය සහ ජාතිකත්වය කැටි කොට කරන ලද ශ්‍රේෂ්ඨ ස්මාරකයක් ලෙස රුවන්වැලිසෑය හැදින්විය හැක.රුවන්වැලිසෑයේ මුළු උස අඩි 338 කි. වට ප්‍රමාණය අඩි 942 කි.