මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු එවකට වැඩ සිට භික්ෂූන් වන්සේලාට විනය කර්ම කිරීම සඳහා දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයනේ පොහොය ගෙයක් කරවන ලදී. පසුව ක්‍රි.පූ. 2 වන සියවසේ රජ පැමිණි දුටුගැමුණු මහ රජතුමා මෙම ස්ථානයේ නවමහල් ප්‍රාසාදයක් කරවා භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම කිරීම උදෙසා පූජා කළේ ය. මෙහි වහලය තඹ ලෝහයෙන් කළ බැවින් ලෝවා මහපාය නම් විය.


මෙහි පහත මාලයේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ද දෙවැනි මහලේ ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා ද, තෙවැනි මහලේ සෝවාන් භික්ෂූන් වහන්සේලා ද, සිව්වෙනි මහලේ සකෘදාගාමී භික්ෂූන් වහන්සේලා ද , පස්වැනි මහලේ අනාගාමී භික්ෂූන් වහන්සේලා ද වැඩ සිටියේ යැයි සදහන් වේ. සයවෙනි මහලේ සිට නවවෙනි මහල් දක්වා රහතන් වහන්සේලා ද වැඩ සිටියේ යැයි සඳහන් වේ.


පසු කාලීනව මෙය සත් මහල් පස් මහල්, ආදී වශයෙන් ඒ ඒ කාලවල ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ දැක්වෙයි. මෙහි මුළු ගල් කණු ප්‍රමාණය එක්දහස් හයසිය (1600) කි. පේළි හතලිහකින් (40) යුක්තව ඇත. අද අපට දකින්නට ඇත්තේ මහාපරාක්‍රමබාහු යුගයේ ප්‍රතිසංස්කරණය කළ ඒවා බව සැලකේ. වර්තමානයේ ද මෙම ගොඩනැගිල්ලේ උඩු මහළ අටමස්ථාන ආශ්‍රිත භික්ෂූන් වහන්සේලා පොහොය කර්ම කිරිම සඳහා භාවිතා කරති.