මහින්දාගමනයෙන් පසු ලක්දිව ඉදි කරන ලද ප්‍රථම ස්තූපය ථූපාරය යි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ද සෙසු සැදැහැවතුන්ට ද වන්දනාමාන කිරීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි දෙවනපෑතිස් රජතුමන් විසින් මෙම ස්ථූපය කරවන ලදි. ස්තූපය ගොඩනැගීමේ කාර්යය රජුට පැවරූ මිහිඳු මහ රහතන් වහන්සේ ධාතු වැඩමවීම තමන්වහන්සේ භාර ගත් හ. මේ වන විට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව ශක්‍රයා සතුව තිබූ අතර සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරවන ලද එම ධාතූන් වහන්සේ ථූපාරාමයේ තැන්පත් කරන ලදි.


පෙර බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් කොට මෙම ස්ථානයේ ම ස්තූප කළ නිසා වෙනුත්, ගෞතම බුදුරජාණන් වහන්සේ මොහොතක් සමාධි සුවයෙන් වැඩ සිටි නිසා වෙනුත් මෙම ස්ථානම ස්තූපය කරවීම වඩා යෝග්‍ය යැයි මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන් හ. දෙවනපෑතිස් රජු විසින් අභයවැව පිළිසකර කිරිමෙන් ගොඩකරන ලද පස්ගොඩ ථූපාරාමය ඉදිකිරීම සදහා උපයෝගී කර ගත් බව දැක්වේ. මුල් යුගයේ ථූපාරාමය ධාන්‍යාකාර හැඩයකින් යුක්ත වුව ද පසුකාලීන ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද අපට දක්නට ලැබෙන්නේ ඝණ්ටාකාර හැඩයේ චෛත්‍යයකි. ථූපාරාමයේ අනෙක් විශේෂත්වය වන්නේ අතීතයේ මෙම දාගැබ ආරක්ෂාවට තිබූ "චේතියඝර" යයි. මෙම චේතියඝරය වසභ රජතුමන් විසින් කරවන ලද්දකි. පසුකාලීන රජවරු ද ථූපාරාමයට බොහෝ අනුග්‍රහය දක්වා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

ථූපාරාමයේ මුළු උස අඩි 62කි. වට ප්‍රමාණය අඩි 108 කි.